සදෙව් රත්නායක –
- අරවින්දගෙන් පැය හයක් ප්‍රශ්න කරයි
- තවත් ක්‍රීඩයකන් රැසකගෙන් සාක්ෂි සටහන් කරගැනීමට සූදානම්
- විමර්ශනයෙන් පසු හරිම උත්තරය ලැබෙයි… අරවින්ද කියයි
2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ චෝදනාව ගැන සාක්ෂි ලබා දීමට එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග අද (ජූලි 1) ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.
එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඊයේ (30) ක්‍රීඩා එම ඒකකයට කැඳවා තිබූ අතර ඔහු පැය 6ක කාලයක් පුරා ප්‍රකාශයක් ලබා දුන්නේය.
මීට සති කිහිපයකට පෙර හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මේ චෝදනාව එල්ල කිරීමෙන් පසුව ඒ පිළිබඳ සිය දැඩි විරුද්ධත්වය පළ කරමින් එකහෙළාම ප්‍රතික්ෂේප කළ අරවින්ද ද සිල්වා මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටි අතර ඊයේ ඔහු ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට කැඳවා තිබුණේ ඒ අනුවය.
‘මේ විමර්ශනයෙන් පසුව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට එල්ල කරන චෝදනාවට පිළිතුරු ලැබේවි.‘ සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව පිටතට පැමිණි අරවින්ද ද සිල්වා මාධ්‍යවේදින්ට එසේ කියා සිටියේය.
හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ චෝදනාව පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසට වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රට දුන් උපදෙස් අනුව එම විමර්ශන කටයුතු සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් ඒකකයට බාර දී තිබිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එම චෝදනාව පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපි ගොනු කිහිපයක් ද ගෙන්වා ගෙන තිබිණි.
හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර 2011 වසරේ ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මහේල් ජයවර්ධන උපනායකයා ලෙස කටයුතු කළේය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදුකර තිබීම ද සැකයට තුඩු දුන් බව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කර තිබිණි.
එවකට ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස අරවින්ද ද සිල්වා කටයුතු කළ අතර හිටපු ක්‍රීඩකයන් වන අමල් සිල්වා, රංජිත් ප්‍රනාන්දු සහ ෂබීර් අස්ගර් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
විමර්ශන කටයුතු නොකඩවා පැවැත්වෙමින් තිබේ.