උපේක්ෂා උඩුවැරැල්ල –
ලංකාවේ කොතෙක් නම් පෙරහර උත්සව පැවැත්වුවද මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෙරහර මංගල්‍යයන්ගෙන් ප්‍රමුඛය. හෙල කලා මංගල්‍ය හෙවත් පෙරහර පූජෝත්සවය ලෙස ගෞරව නාම පටබැදී ඇති බුදුන්වහන්සේ පුදන්නට මහා ජන සහභාගිත්වයෙන් හා උත්කර්ෂයෙන් පවත්වනු ලබන වාර්ෂික මහා පෙරහර ශ්‍රි දළදා ඇසළ පෙරහර පමණි.
මෙවර එය අමුතුම වූ හැඩයක් ගන්නා බවට ඉඟි මේවන විට පලවි තිබේ. කොවිඩ් 19 වසංගත උවදුර පෙරමුණ ලා පැවැත්වීමට නියමිත පෙරහර මංගල්‍යය ජන සහභාගිත්වයක් නොමැතිව පැවැත්වීමට තීන්දු වී ඇත. පෙරහරක ලාලිත්‍යය , ශිල්පීන්ගේ ජවය ඇතිහැටියට ඇත්තේ ජනසමුහයා පෙරමුණ ගත් පෙරහර මංගල්‍යයක පමණි. සක්වලට නද පතුරුවා ජනයාගේ සාදු නදින් දෙව්ලොව දෙවිවරුන්ගෙන් ආනුභාවය පතන්නට හැකි වන්නේ මහා ජනසමූහයක් සමගම පමණකි. ඒ වග පැහැදිලි වනනේ අතීතයේ පටන් සබැඳිපෙරහරක පසු විපරමෙන්ම පමණි.
වත්මන් ඇසළ පෙරහර බුදුන් බෝධිසත්වයන් දෙවිවරුන් සඳහා කැප වු අතිශය ප්‍රදර්ශනාත්මක වූත් ජාතික හා සංස්කෘතික සංදර්ශනීය ලක්ෂණ විදහා පාන මෙම පූජනීය උත්සවය අතීතයේ පටන් ඒකායන පරමාර්ථයක් පෙරදැරිව පවත්වනු ලබයි.එනම් වර්ෂාව ලබා ගැනීමත් ශස්‍ය හෙවත් අස්වනු වර්ධනය වීමත් ඉන් ජනතාවගේ දුක් කම් කටොලු නිරාකරණය වී අටුකොටු පිරී කුසගිනි නොදැනෙන ජිවිකාවක් ගෙවිමේ ඉඩ කඩ ලැබීමත් ය. ලෙඩදුක් දුරු වීමත්ය. සෞභාග්‍ය උදා කරගැනිමත්ය.
මේ සියල්ල වර්ෂාව ලද විට ඉෂ්ඨ වන්නේ යැයි එකල සිට මෙකල දක්වාම සියලු ජනී ජනයා විශ්වාස කරනු ලබන්නකි. එම කාර්යය කෙරේ එකී පාර්ශව කිනම් අයුරකින් ක්‍රියාත්මක වේ දැයි යන්න අපට පියවි ඇසින් දැක ගත හැකි ක්‍රියාවලියක් නොවුනද එය මේ තාක් යම් උත්තරීතර අවිද්‍යාමාන බලවේගයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවට සාධක හා සාක්ෂි එමට ඇත.
ඇසළ පෙරහර පවත්වනු ලබන ආකාරය අනුව එහි බුද්ධ බෝධිසත්ව දේව හා රාජ යන සිව් වැදෑරුම් අනුහස් බලයක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගෙන් බුදුන්වහන්සේගේ අනුහස් බලයත් නාථ දෙවියන් විසින් බෝධි සත්ව හා දේව බලයත් විෂ්ණු කතරගම හා පත්තිනි දෙවි දේවතාවුන්ගේ බලයත් දියවඩන නිළමේවරයාගෙන් රාජ බලයත් ප්‍රදර්ශනය කෙරේ.
නොපෙනෙන බලවේග ක්‍රියාත්මක කර ගැනීම උදෙසා මානුෂිය මැදිහත් විම අත්‍යාවශ්‍ය වෙයි. මෙය පෙරහරක ව්යංගාර්තයේ තබා තව්තිසා දෙව්ලොවට ඇසෙන සේ සාදු කාර හඬින් හා අනේක විද නදින්ද උත්තරීතර වස්තූන් නගරය වටා ගෙන යාමෙන්ද සිදුකළ හැකි වෙයියැයි පැරැන්නෝ දැඩිව විශ්වාස තබා ඇත. .
පුද චාරිත්‍ර, සිරිත් විරිත්, විශ්වාසය, අපේක්ෂා සහ පෞරාණික සම්ප්‍රදායන් අතර ඇත්තේ අවියෝජනීය සබැඳිචයාවකි.
පෙරහර චාරිත්‍ර සම්ප්රදාය
පෙරහර සඳහා සහාභාගිවන ශිල්පීන් අලි ඇතුන් සියල්ලෝම බුද්ධවන්දනාවක් වෙනුවෙන් සැදී පැහැදෙන්නා සේ ස්නානය කොට පිරිසිදුව පිරුවටින් සැරසී මාලිගා පරිශ්‍ර යේ සිටී. පෙරහර වෙනුවෙන් සුදානම් වීම පිණිස පළමු වෙඩිල්ල තබනු ලබන්නේ කාරිය කෝරාල විසිනි . ඉන් අඩ හෝරාවකට අනතුරුව දෙවන වෙඩිමුරට ශිල්පීන් අලි ඇතුන් පෙළ ගැසිය යුතුය. ඒ වනවිට පෙරහර කරඬුව වැඩම වීම සදහා සූදානම් බව කාරිය කෝරාළ චාරිත්‍රානුකූලව සැලකර සිටීමෙන් පසු දියවඩන නිළමේ පෙරහර කරඬුව තේවාභාර නායක ස්වාමින් වහන්සේලාගෙන් ගෞරව භක්තියෙන් ලබා ගෙන පාවඩ මත රන්සිවිගෙය වෙත වැඩමවයි. ඇතු මත ඇති රන්සිවි ගෙයි පෙරහර කරඬුව තැන්පත් කිරීමෙන් පසුව ඇතු පාවාඩ මත වැඩම කොට වාහල්කඩින් පිටතට දකුණු පාදය තබන මොහොතේ තෙවන වෙඩිමුරය හැඩවේ. එසැනින් සක්හඬ පිඹ පංචතූර්ය නාදය වාදනය කිරීම ඇරඹේ.
දෙව්ලොවින් සක්වලින් විදුලි කොටමින් හෙණ හඬ නගන්නා සේ කස පුපුරමින් සේසත් කොඩි ලෙල දෙමින් පෙරහර ඉදිරියට ඇදෙන්නේ මහා වැස්සක් ඇද හැලෙන්නා සේය. කලු වලාවන් ඇදි වැසි අදුරු වැහිවලාකුළු ගලා එන්නා සේ , ඇතුන් අලියන් පෙරහරේ ගමන් ගනිති. අඳුර මුසු වැහිවලා ගුලි පාවි ඒන අන්දම විදහා පාමින් ඇත් රාජයින් පෙරහර හි ගාම්භිර අයුරින් පා තබා යති. ගිනි පන්දම් එලි විදුලි කොටන්නා සේය. තැනින් තැන ගමන් කරන අයුරින් ඈතින් දිස්වන්නේ අඳුරු වලා අතර විදුලි එළිය..
පෙරහර ප්‍රාර්ථනාව
ගාථා කවි පන්ති කියමින් ලී කෙළි හැඩවෙමින් අලංකෘත වු පෙරහර ගමන්කරන්නේ විචිත්‍රවත් බවින් මිනිස් සිත් සතන් සතුටින් සනහාලන පරිද්දෙනි. ඒ සතුට ඔස්සේ ප්‍රාර්ථනය කරන්නේ සෞභාග්‍යය. අටුකොටු පුරවන්නට පෙර අස්වනු මුල්කොටහ බුදුන් වහන්සේට පූජා කරමින් ඉන් අනතුරුව පැවැත්වෙන පෙරහර මංගල්‍යය ඔස්සේ ජනයා සිත් පහන් කොට ගන්නේ ඊලඟ කන්නයට සිත පිරිසිදු කරගන්නා අටියෙනි.
කරඬුව වඩම්මන විට නැගෙන සාදු නාදයත් සතර මහා දේවාලයන්හි දේව යාතිකා නාදයත් සක්වලටම ඇසෙන්නේ යාතිකාවක අයුරිනැයි විශ්වාස කෙරේ.
කුඹල් පෙරහර හෙවත් ස්වේත වර්ණ පෙරහර පහක් සහ දේවාභරණ වඩම්මන වර්ණවත් පෙරහර පහකින් සමන්විත ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වන්නේ අලුයම දිය කැපීමෙන් පසුව ගමන් ගන්නා දහවල් පෙරහරට පසුවය. ඉන් අනතුරුව සවස් යාමයේ වර්ෂාව ඇද හැලෙන්නේ සියළු හාස්කම් පිළිබඳව මනුසත් සිත් සතන්හි විශ්වාසය පුබුදුවාලමිනි.
මේ චාරිත්‍රය උදෙසා ජන සහභාගිත්වයක් අත්‍යාවශ්‍යය. සැබෑ පෙරහරක අනුහස් ලැබෙන්නේ එවිටය. වීථි හිස් වූ පෙරහරක ආනුභාවයක් ඇත්තේ කොහිද..? සැබෑව එයය.
ලොවපුරා පැතිර ගිය වසංගතය මත ගත් තීරණ වුවද මෙවන් ඵෙතිහාසික පූජා විධික්රමයන්හි සත්‍ය ඵලයක් මෙවන් පසුබිමක අපේක්ෂා කළ හැකිදැයි ගැටළුවකි.
ඒ දකිමින් කිව හැක්කේ අනේ කාලේ වනේ වාසේ කියා පමණකි.