මාතර සම්පත්..
අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් මාතර නගරයේ නිවසක් තුල තිබී ඊයේ (02) රාත්‍රී සොයාගෙන ඇත.
මෙම කාන්තාව ගෙල සිරකර මරා දමා ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මරාදමා ඇත්තේ මාතර, උයන්වත්ත, ධර්මරත්න මාවතේ පදිංචි වයස අවු. 67 ක් වූ චන්ද්‍රිකා ජයවීර නම් කාන්තාවකි. ඇය හුදෙකලාව තම නිවසේ පදිංචිව සිටි බව අසල් වැසියෝ පවසති. ඇගේ දියණිය මේ වනවිට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මිය මීට කලකට ඉහතදී මියගොස් තිබේ.
ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ අසල්වැසි ඥාති කාන්තාවක් විසින් ඇයට රාත්‍රී ආහාරය ගෙන ගොස් දී ඇති අතර ඉන් පසුව එම රාත්‍රී ආහාර ගෙනදුන් කාන්තාව එම නිවසෙන් පිටව ඇවිත් තිබේ. ඇය ගැන තොරතුරක් නොවූ හෙයින් අද (03) දින අසල්වාසීන් සහ ඥාතීන් මේ පිළිබඳව සොයා බැලීමේදී සිරුර නිවසේ තිබෙනු දැක ඇත.
ඇගේ ගෙල පටියකින් සිරකර, එම පටිය පුටුවේ කොන් දෙකේ ද ගැටගසා තිබූ බවත් සෙනසුරාදා රාත්‍රියේ කාන්තාව විසින් ගෙනදෙන ලද කෑම පිඟානෙන් භාගයක් පමණක් අනුභව කොට ඉතුරු භාගය එලෙසින්ම තිබෙනු දක්නට ලැබුණු බවත් කියන පොලිසිය සැක පහළ කරන්නේ සෙනසුරාදා රාත්‍රියේ දී හෝ ඉරිදා අලුයම් කාලයේ දී මෙම මරණය සිදුවන්නට ඇති බවයි.
අපරාධය සිදුකරනල ලද ස්ථානය වූ එම නිවසට වැඩබලන මහේස්ත්‍රාත් පාලිත හෙට්ටිආරච්චි පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගොස් ඇත.
පසුව පොලිස් නිල සුනඛ “ඔස්කා” විසින් ලබාදුන් තොරතුරු උපයෝගී කොටගෙන මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටී. මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මාතර කොට්ඨාසභාර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධන මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් විමර්ශන කටයුතු සිදු කරයි…