දිනසේන රතුගමගේ –
මුලතිව් නායාරූ ප්‍රදේශයට අලුතින් පැමිණ සිටින පවුල්වලට ධීවර කටයුතු වල නිරත වීම සඳහා ඔවුන්ගේ බෝට්ටු 150 ක් ලියා පදිංචි කිරීමට මුලතිව් ධීවර සංගමය කැමැත්ත පල කොට තිබේ.
මුලතිව් ධීවරයින් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මීට පෙර පලකොට සිටි නමුත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ධීවර සංගම් නියෝජිතයෝ ඒ සඳහා කැමැත්ත පල කළහ.
මුලතිව් නායාරූ හා කෝකිලායි යන පළාත් වලට දකුණෙන් පැමිණ සිටින ධීවර පවුල් අතීතයේදී සංක්‍රමණික ධීවරයින් වශයෙන් පැමිණි නමුත් ඔවුන් මේ වන විට මුලතිව් ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව සිටිති.
මුලතිව් ධීවර සමීති කියා සිටින්නේ පාරම්පරික සිංහල ධීවරයින් මුලතිව් පළාතේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් තුළ විරෝධයක් නැතත් මේ ධීවරයින්ගේ නම් හා තොරතුරු ඉදිරිපත් කරමින් දකුණේ ධීවර බෝට්ටු 800 ක් පමණ මුලතිව් පළාතේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වන බවයි.
මුලතිව් පළාතේ ධීවර බෝට්ටු 1000 ක් පමණ ධීවර කටයුතුවල නිරත වන නමුත් ඉන් ලියාපදිංචි කොට ඇත්තේ 300 ක් පමණ බව පෙන්වා දෙන මුලතිව් ධීවර සමීති නායකයෝ ධීවර පරීක්ෂක නිලධාරීන් හා සහකාර අධ්යක්ෂවරු මේ සම්බන්ධයෙන් නිරන්තර නියාමනයක් සිදු කළ යුතු බව මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කියා සිටියහ.