නතාෂා නෙත්මිණි –
නියමු ව්‍යාපෘතියක් යැයි දක්වමින් යුක්රේනයේ විදේශිකයන් මෙරටට ගෙන්වා දැනට කරගෙන යන සංචාරක වැඩසටහනින් මෙරට සැලසුම් කර තිබූ නිරෝධායන වැඩපිළිවෙළ මුලුමනින්ම බිඳහෙළූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් රටතුළ කොවිඩ් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතිබවට ද ඔවුන් අනතුරු හඟවයි.
මේ විදේශිකයන් ගෙන්වීමට මැදිහත් වූ හිටපු තානාපතිවරයා රටට පැමිණෙන විදේශිකයෙක් නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ මේ ලෙස උල්ලංඝණය කරන්නේ නම් තම සාමාජිකයන් කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත් වනබව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
“ විදේශීය සංචාරකයෙක් මෙරටට පැමිණීමට පෙර එරට දී පීසීආර් පරික්ෂාවකට ලක් කරනවා. ඔහු එරටන් පිටවෙන්නෙ කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වුණාට පස්සේ. මෙරට ගුවන්තොටුපලේදී නැවත පීසීආර් පරික්ෂාවකට ලක් කර එහිදී යම් සංචාරකයෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් පමණක් ඔහු දින 14ක් නිරෝධායනයට ලක් කරනු ලබනවා. අනෙකුත් සංචාරකයින්ව තවත් දින 7ක් ඔවුන් නවාතැන් ගන්නා හෝටලය තුළ නිරෝධායනයට කරවනවා. සැලසුම් සකස් කර තිබුණෙ එහෙමයි. හෝටලයේ රැඳී සිටින කාලය තුළ මොවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ද ඒ සැලසුමේ අංගයක් වී තිබුණා.“
“ ඒ වගේම මෙම විදේශීය සංචාරකයන් දහදෙනා බැගින් වූ කණ්ඩායම් ලෙස සංචාරය කිරීමට ඉඩ ලබා දීමටත් ඔවුන්ව අධීක්ෂණය කිරිම සඳහා එක් කණ්ඩායමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු, හමුදා සාමාජිකයෙකු හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු ඇතුළත් කිරීමටත් නියමු සැලසුමේ තිබුණා. “
“ එහෙත් කලින් සකස් කර තිබූ සියලු සැලසුම් බිඳහෙලමින් මේ හිටපු තානාපතිවරයා ඔහුගේ අභිමතය පරිදි කටයුතු කිරීමට පටන් ගත්තා. දැන් මේ පරිපාලන සැලසුම් අපෙන් මිදිලා. මේ හැම සැලසුමක්ම හැදුවේ දෙපාර්ශවයේම යහපතට. කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නම් මේ විදේශයන්හි පැතිරිලා යන නව කොවිඩ් වෛරස් ප්‍රභේද මේ රටතුළ පැතිරීම වැළැක්විය නොහැකියි.“ යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
කෙසේ නමුත් ඇතැම් නිලධාරීන්ගේ හිතුවක්කාර තීරණයන් හමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දිවිහිමියෙන් ගෙන ගිය කොවිඩ් වසංගත පාලන කටයුතු මුළුමනින්ම බිදවැටීම කණගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් කීය.