ශ්‍රී ලංකා දේශපාලනයේ සලකුණු තැබූ කීර්තිමත් දේශපාලන පරම්පරාවක පුරුකක් වූ, මානව හිමිකම් නීතිඥවරියක වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය නවසීලන්ත මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.
ඇය කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ වයඹ දිග ඕක්ලන්ඩ්හි අපර්හාබර් ඡන්ද බල ප්‍රදේශයෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී පෝලා බෙනට් පරාජය කරමිනි.
ශ්‍රී ලංකා සහ නවසීලන්ත ද්විත්ව පුරවැසියකු වන වනූෂි සිය මාපියන් සමගින් නවසීලන්තයට සංක්‍රමණය වන්නේ අවුරුදු පහේ දී පමණය. ඇය මෙරට දේශපාලනයේ ඉතිහාසගත පරම්පරාවක වත්මන් පුරුකක් බව කිව යුතුය.
කොළඹ පළමු නගරාධිපතිවරයා වූ වෛද්‍ය සර් රතනසෝති සරවනමුත්තු සහ මෙරට පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රීවරිය සහ පළමු දෙමළ මැතිසබේ සාමාජිකාවක වූ වෛද්‍ය ලුයිසා නයිසුම් සරවනමුත්තු යන දෙපලගේ දියණියක වූ වෛද්‍ය සීතා සරවනමුත්තු මහත්මිය වනූශිගේ මිත්තණියයි. ඒ සිය පියා වන ජන රාජනායගම්ගේ පාර්ශවයෙනි. ඔහුට හා ප්‍රීතිවා මේතර් දෙපළට දාව උපන් දරුවන් තිදෙනාගේ බාලම දරුවා වනූෂි ය.
ඇය පවසන පරිදි ඇයට දේශපාලනයට පිවිසීමට පළමු පෙළඹවීම ඇති කරන්නේ 1990 ශ්‍රී ලංකාවේ දී ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා යන තම පියාගේ දෙවන මස්සිනාගේ ඝාතනයයි. රිචඩ් ද සොයිසා යනු වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ පුත්‍රයා ය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ඔහුගේ ඝාතනය මානව හිමිකම් කෙරෙහි, නීතිය කෙරෙහි මෙන්ම දේශපාලනය කෙරෙහි ද තමන් පෙළඹවීමට හේතු වූ බවට ඇය කියන්නීය. එවකට ඇය බාලවයස්කාර දැරියක් වුවද එම ඝාතනය තම ඥාතියකු ලෙස නොව මානව හිමිකම් ක්රියාකාරියකුගේ හඬ යටපත් කිරීමක් වූ බවට තමාට දැනුනේ යැයි ඇය සිහිපත් කරන්නීය.
මානව හිමිකම් නීතිඥවරියක වූ වනුෂි බටහිර ඕක්ලන්ඩ්හි ජීවත් වන්නියකි. ඇගේ සැමියා රයිස්, ඔවුන්ගේ පිරිමි දරුවන් තිදෙනා වන එලියට්, ලූකා සහ සාචා සහ මව ෆර්න් ද එහි වෙසෙති.
වනුෂි ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නීතිඥවරියකි. ඇය ප්‍රජා නීති ක්ෂේත්රයේ වසර 9ක්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ජාත්‍යන්තර මණ්ඩල සාමාජිකාවක් ලෙස වසර 6ක් ගත කර ඇති අතර පෞද්ගලික පුහුණුවීම්, රාජ්‍ය අංශය සහ ප්‍රජා අංශයේ සේවය කර ඇත.
කම්කරුවන් සඳහා සාධාරණ රැකියා තත්වයන් සහතික කිරීම සඳහා වැඩ කිරීමේ සැලසුමක් ඇය සතුව ඇති අතර, ඇය COVID-19 න් පසු සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාවයට සහ අවස්ථාවන්ට අඛණ්ඩව අය සහාය වනු ඇත. වනුෂිට අවශ්‍ය වන්නේ වාසය කිරීමට හැකි නිවාස වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සහ අවශ්‍ය ඕනෑම අයෙකුට නීතිමය උපකාර ලබා දීමට ය. වනුෂි මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු සහ ඕක්ලන්ඩ් සහ නෝර්ත්ලන්ඩ් හි ප්‍රජා ව්‍යාපෘතිවල නවසීලන්තයේ විශාලතම පදනමක උතුරු කොටස භාරව කටයුතු කරමින් සිටියාය.