කීර්ති ප්රනාන්දු –
රජයේ ඇමතිවරුන් හා රාජ්ය ඇමතිවරුන් 10 දෙනෙකු දැනට භාවිත කරන මාදිවල මන්ත්රී නිවාසවලින් ඉවත් වී නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
එම නිවාස ආපසු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන් විසින් දන්වා ඇතත් ඔවුන් ඒ සම්බන්ධව කටයුතු කර නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අද වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 08 දෙනෙක් මන්ත්රී නිල නිවාස ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත් නිවාස අත්පත් කරගෙන සිටින මැති ඇමතිවරුන් නිසා ඔවුනට ලැබිය යුතු නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම ඇමතිවරුන් හා රාජ්ය ඇමතිවරුන් මන්ත්රීවරුන් ලෙස සිටි කාලයේ දී මෙම නිවාස ලබාගෙන තිබී ඇත. මේ වනවිට ඔවුන්ට රජයේ ඇමතිවරුන්ට ලබා දෙන නිල නිවාස ලබා දී ඇතත් මෙම මන්ත්රී නිවාසවලින් ඉවත් වී නැති බව වාර්තා වේ.
නීතියට අනුව ඇමතිවරයෙකුට, මන්ත්රීවරයෙකුට හෝ රජයේ ඇමතිවරයෙකුට අයත් වන්නේ එක් නිල නිවසකි. එසේ තිබිය දී මේ මැති ඇමතිවරු නිල නිවාස දෙකක් පරිභෝජනය කරමින් සිටීම නීති විරෝධී බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එසේම මාදිවෙල පිහිටි මන්ත්රී නිවාස මේ වනවිට ඇතැම් ඇමතිවරුන්ගේ ඥාතීන්ට, ලේකම්වරුන්ට, හා ඇමති ආරක්ෂකයන්ට ලබා දී ඇති බවත් ඔවුන් එම නිල නිවාසවල පදිංචි වී සිටින බවත් හෙළි වී ඇත.