දැනට සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව නොතීසි නිකුත් කරනවාද නැද්ද යන නියෝගය මාර්තු මස 31 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) දින නියම කළේය.
ඒ අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ සිර දඬුවම් කාලය ලබන අප්‍රේල් මස වන විට මාස තුනක්වන බැවින් මෙම පෙත්සමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේය.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් ගොනුකළ මෙම රිට් පෙත්සමට අදාළව දෙපාර්ශවයේ ලිඛිත දේශන ගොනු කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සඳහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් කියා සිටියේය.