සුසන්ත අමරබන්දු –
- දරුවාට අවුරුදු 06යි.. දින 02ක් රඳවා තබාගෙන ඉඳලා…
- පොලීකරුවාත් 21 හැවිරිදි පුතාත් අත්අඩංගුවට…
කල්මුණ පොලිස් බල ප්‍රදේශයේ කල්මුනේ කූඩි ගම්මානයේ සය හැවිරිදි දරුවෙකු නිවසේ සිටියදී 01 වෙනිදා සවස සිට අතුරුදන් බව පවසමින් 02 වැනි දා උදේ එම දරුවාගේ මව වන මන්සුර් පාතිමා ජබින් නැමැතිය පොලිසියට පැමිණිලි කළාය. මෙසේ අතුරුදන්ව සිටියේ තාහීර් මොහොමඩ් රිමාස් නැමැති හය හැවිරිදි දරුවෙකි.
එසැනින් ක්‍රියාත්මක වූ කල්මූණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් විසින් කඩිනමින් පොලිස් පරීක්ෂණ ආරම්භ කළහ. ඒ අනුව , 02 දා දහවල් වන විට එම ගම්මානයේ පදිංචි අයෙකු විසින් මෙම දරුවා සඟවා ගෙන සිටියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
එලෙස දරුවා පැහැරගෙන ඇත්තේ පොලියට මුදල් දෙන තැනැත්තෙකි.
මෙම දරුවාගේ මව මීට පෙර දී රුපියල් ලක්ෂ තුනක මුදලක් මෙම අයගෙන් ඉල්ලා ගෙන තබේ. එහෙත් එම මුදල නිසි ආකාරයෙන් ලබා නොදීම නිසා මෙම දරුවා පැහැරගත් බව පොලිසිය විසින් අනාවරණය කර ගන්නා ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එම දරුවා පැහැරගත් මුදල් පොලියට දෙන තැනැත්තා සහ ඔහුගේ 21 හැවිරිදි පුතා ද මෙම සිද්ධියට අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (03) වෙනි දින කල්මුණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු රිස්වාන් විසින් අදාළ සැකකරුවන් දෙදෙනා 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී .
ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර භාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න ගේ මඟ පෙන්වීමෙන් අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක ගේ උපදෙස් මත කල්මුණ භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ කල්මුණ මුලස්ථාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෙමිල්, පො.සැ.(36618)තීස්ස ,(පො.කො(56400) , අතපත්තු, පො.සැ.,(44114) යෝගනාදන්, කා.පො.සැ.(5705) ලීලාවතී යන නිලධාරීන් විසින් සිදු කරන ලදී.