නාරම්මල මාර්ගයේ කටුමුල්ල ප්‍රදේශයේ දී කටුපොත පොලිසියට අයත් ජීප් රථයක් හා ත්‍රි රෝද රථයක් ගැටීමෙන් අද ( 28) සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙක් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පොලිස් රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනයෙන් සිදු වූ බවට සැක කෙරෙන මේ අනතුරින් ත්‍රී රෝද රථය පැදවූ 40 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ නැන්දනිය වන 65 හැවිරිදි කාන්තාව මිය ගොස් ඇත.
ත්‍රී රෝද රථය පැදවූ අයගේ බිරිය සහ වයස අවුරුදු 10 හා 15 වියේ පසුවන දරුවන් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් යුතුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
අනතුරට ලක් වූ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. ඔවුන් ත්‍රී රෝද රථයකින් අනුරාධපුරය බලා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට ලක් වී තිබේ.
පොලිස් ජිප් රථය රඹාටුව දෙස සිට කටුපොත දෙසට ධාවනය කරමින් සිට ඇති අතර එහි වරෙන්තු කරුවෙක් රැගෙන පොලිසිය බලා යමින් සිටියදී මෙම අනතුර සිද්ධ වී තිබේ.
පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා අත්අඩංගුවට ගත් වරෙන්තුකරු ද තුවාල ලබා කටුපොත රෝහලට ඇතුළත් කර ඇත.
මිය ගිය අයගේ මෘත ශරීර කටුපොත රෝහලේ තැන්පත් කර තිබේ.