-
බදු ගත්තේ අවුරුදු 6කට… අවරුදු හය ඉවර වෙලා අවරුදු 6ක්… ගෙයින් යන්නෙ නෑ…
-
ගේ ඇතුළෙ ව්‍යුහාත්මක වෙනස්කම් කරලා… කොරියන් අවන්හලකට කියලා අරන් හැදුවෙ සමාජ ශාලාවක්…
-
ව්‍යාජ මත්පැන් බලපත්‍ර අරන්… ගේ ඉල්ලුවම දේශපාලන නංගරන් දානවා…
පානදුරේ නගර සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු කොළඹ 07, තුම්මුල්ල හන්දියේ පිහිටි වෛද්‍යවරයකුට අයත් වටිනා සුවිසල් නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට එම වෛද්‍යවරයා චෝදනා කරයි.
ඔහු ගෙන් 2009 වසරේ දෙසැම්බර් 01 වැනිදා බදු ගිවිසුමක් මත වසර හයක කාලයක් සඳහා ලබා ගත් මෙම නිවස 2015 වසරේ දී අදාළ ගිවිසුම අවසන් වනවිට ලබා දිමට නියමිතව තිබුණද ඔහු බලහත්කාරයෙන් මෙම නිවසේ රැඳී සිටිමින් එහි සමාජ ශාලාවක් පවත්වාගෙන යන බව දැනට එංගලන්තයේ ජීවත් වන වෛද්‍ය ලලිත් රත්නායක සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය නීලා රත්නායක ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවේදී අනාවරණය කළේය.
දුරස්ථ අන්තර්ජාල මාර්ගයෙන් සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ වෛද්‍ය ලිලත් රත්නායක ප්‍රකාශ කළේ ඔහු තමන්ට පවතින දේශපාලන බලපුළුවන්කාරකම් භාවිත කරමින් අනවසරයෙන් මෙම ගොඩනැගිල්ල අත්පත් කරගෙන ඇතිවාට අමතරව 2015න් පසුව කිසිදු බදු මුදලක් ගෙවීමක් හෝ ගිවිසුමගත ආකාරයට වරිපනම් ගෙවීමක්ද සිදු කර නොමැති බවට අනාවරණය කළේය.
“ අපේ ගිවිසුමට අත්සන් කළේ හේමන්ත ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර ජයවික්‍රම කියල කෙනෙක්. ඔවුන් මුලින්ම අපට කීවේ මෙම නිවසේ කොරියානු අවන්හළක් විවෘත කරනවා කියල. නමුත් ඔවුන් එවැනි දෙයක් වෙනුවට සමාජ ශාලාවක් තමයි පටන් ගෙන තියෙන්නේ.“
“ මේ නිවස තුළ අභ්‍යන්තරයේ කිසිදු ව්‍යූහාත්මක වෙනසක් සිදු කිරිමට ඔහුට බලයක් නෑ. එහෙත් ඔහු එවැනි විශාල වෙනස්කම් නිවස තුළ සිදු කොට තිබෙනවා. මගේ අවසරයක් නැතිව ව්‍යාජ බදු ඔප්පුවක් සුරා බදු දෙපාර්තමේන්තුවට යොමු කර වංචනික ලෙස මගේ නිවසට මත්ද්‍රව්‍ය වෙළෙඳ බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. මෙම නිවසේ බදු ගිවිසුම අවසන් වූ පසුව මා එය ඉල්ලන්න හේමන්ත හමුවීමට ගියා. එහෙත් ඔහු තමන්ගේ ව්‍යාපාරයට වෙනත් තැනක් තවම සොයා ගෙන නැති බව පවසමින් මට නිවස භාර දීමෙන් වැලකී සිටියා. මේ නිසා අවසානයේ මට අධිකරණයේ පිහිට පතන්නට වී තිබෙනවා.“
එහිදී තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ලලිත් රත්නායක සඳහන් කළේ මෙම පුද්ගලයා තම දේශපාලන හයියද පාවිච්චි කරමින් තම ස්ථානයේ වංචනිකව රැඳී සිටීමට කටයුතු කිරීමෙන් තමන් සහ බිරිඳ විශාල පීඩාවකට ලක්ව ඇති බවය. එසේම වෛද්‍ය ලලිත් රත්නායක පවසන්නේ මේ වනවිට වයස්ගතව සිටින තමන් ට ශ්‍රි ලංකාවට පැමිණ පදිංචි විමට තමා උපන් දා සිට ජීවත් වූ නිවස අහිමිව ඇති බවය. මේ තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට පැමිණි පසු වෙනත් කාගේ හරි සෙවණක ගත කිරීමට හෝ විශාල මුදලක් ගෙවා කුලියට තැනක් ගෙන ගත කිරීමට සිදුව ඇති වද ඔහු අනාවරණය කළේය.