දිනසේන රතුගමගේ –
නීතිය අකුරටම ක්රියාත්මක කළ රාජ්ය නිලධාරියෙක් සේ කීර්තියක් දිනාගෙන සිටි මන්නාරම මාන්තෙයි බටහිර ග්රාම නිලධාරී එස්. විජයේන්ද්රන් ඝාතනය කිරීමට එරෙහිව මාන්තෙයි බටහිර ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (06) දහවල් විශාල විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
මන්නාරම මාන්තෙයි ප්රදේශයේ රජයේ සේවකයින් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඔවුන් එහිදී ඉල්ලා සිටියේ ග්රාම නිලධාරීවරයාගේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරණ ලෙසයි.
උතුරු පළාත තුළ රජයේ සේවකයින්ගේ ආරක්ෂාව යළිත් බිඳ වැටී ඇති පරිසරයක් නිර්මාණය වෙමින් පවතින බව සඳහන් කළ විරෝධතාකරුවෝ මැරයින් හා ජාවාරම්කරුවන් විසින් රජයේ නිලධාරීන් මර්දනය කිරීමට දරන උත්සාහය වහාම නතර කළ යුතු බවද සදහන් කළේය.
මන්නාරම මාන්තෙයි බටහිර ග්රාම නිලධාරීවරයා සිය රාජකාරිය අවසන් කොට නිවස බලා යමින් සිටියදී 3 දා රාත්රියේ මන්නාරම කල්ලිඅඩි ආත්තිමෝට්ටෙයි ප්රදේශයේදී ඝාතනයට ලක් වූ අතර ඔහු නීතිය ඉතාම නිවැරදිව හා තදින් ක්රියාත්මක කරණ නිලධාරියෙකු වශයෙන් පළාතේ ප්රසිද්ධව සිටියේය.