අධිකරණ භාරයේ තබන්නට යැයි මාරවිල මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයට පිටුපාමින් පිළිකා කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙක රේගුවට භාරදී ඇත්තේ පොලිස් නීති අංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් දංකොටුව පොලීසිට ලද උපදෙසකට අනුව බව වාර්තා වේ.
ආන්දෝලනයට ලක්ව ඇති මෙම පොල්තෙල් බවුසර් දෙක පසුගිය 29 වෙනිදා දංකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ පොල්තෙල් කර්මාන්ත ශාලාවක් පිටුපස සගවා තිබියදීය.
එම බවුසර්වල තිබී ඇත්තේ මේ වන විට රේගු භාරයේ ඇති පිළිකා කාරක පොල්තෙල් බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය විය.
රේගු භාරයේ තිබුණු පොල්තෙල් එසේ රේගුවට හොරා පිටකර තිබියදී එම පොල්තෙල් නැවත රේගුවට භාරදීමෙන් පළක් තිබේදැයි මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පොලිසියෙන් ඊයේ 31 ප්‍රශ්න කළේය.
අත්අඩංගුවට ගත් බවුසර් දෙක රේගුවට භාරදීමට අවශ්‍යතාවක් තිබුණි නම් එම බවුසර් දෙක අධිකරණයට ඉදිිරිපත් කළේ ඇයි ද මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කරමින් පොලිස්පතිවරයාට නියෝග කරන්නේ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසටය.
මේ පිළිබඳව සිදු කෙරුණු සොයා බැලීම්වලදී නියමිත ක්‍රියා පිළිවෙතට අනුකූල නොවන පරිද්දෙන් මෙම පොල්තෙල් තොගය යළි රේගුව වෙතටම යොමු කිරීම පොලිසියේ නීති අංශයේ උපදෙස් මත සිදුවූවක් බව අනාවරණය වී ඇති අතර එය පොලිසියට යම් ඉහළ පාර්ශ්වයකින් කෙරුණු බලපෑමකින් සිදුවූවේද යන්න පිළිබඳව සැකයක් නිර්මාණය වී ඇතැයි ලංකාසරට කරුණු අනාවරණය කළ අරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.