චීන රජය ප්රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය භාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (31) කටුනායක ගුවන්තොටුපලට ගියේය. චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) විසින් අද (31) කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් එම එන්නත් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පින්ගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්රදානය කෙරිණ. චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙ.ව 11.28 ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය.
ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කෙරිනි. අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගියේය.
මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලාංකීය ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එන්නත් ලක්ෂ 06 භාරදීමට අදාළ ලියකියවිලිවලට චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අත්සන් තැබූහ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තාරක බාලසූරිය ද, චීන විශේෂ දූත පිරිස, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.