covid-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දැනට ක්‍රියාත්මක කරන විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුගමනය කරන නිරෝධායන ක්‍රමවේදය වෙනසක් කරන්නේ නම් තවත් වැඩි ප්‍රමාණයක් විදේශගත ලාංකික ශ්‍රමිකයින් ගෙන්වාගත හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක විසින් මේ පිළිබද පාර්ලිමේන්තුවේ දී යොමු කරන ලද ප්‍රශ්නම බලධාරින්ට තමන්ට යොමුකර ඇති බවයි.
අනුර කුමාර දිසානායක මහතා විසින් එහිදී රජයට අවධාරණය කළේ රට විරුවන් ගෙන්වාගැනීමේ දැනට පවතින ක්‍රමවේදය සිවිල් කණ්ඩායමක් යටතට පත් කරන ලෙසටත් ඔවුන් දෙස මිලිටරි කෝණයෙන් නොබලන ලෙසත් ය.
විදෙස්ගත ලාංකිකයන්ට මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ මහා පරිමාණයෙන් මුදල් ගසාකෑම් සිදුවන බවට විපක්ෂයෙන් පමණක් නොව නාමල් රාජපක්ෂ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ද මීට පෙර ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බවද ඔහු සිහිපත් කළේය.
“මේ බිස්නස් එකේ අය ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළෙත් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වටෙත් ඉන්නවා. අසරණ වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් airline එකේ පාඩුව පිරිමහ ගන්න හදන්න එපා. මේ ප්රශ්නය මනුෂ්‍යත්වයෙන් යුතුව විසඳන්න. මෙය සිවිල් කණ්ඩායමක් විසින් මෙහෙයවිය යුතුයි.” යැයි ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.