සටහන – ශ්‍රියානි විජේසිංහ –
- ඉන්න හිටින්න තැනක් හොයන්නෙ නෑ…
- කෑම බීම බලන්නෙ නෑ…
- ගෙවල්වල යන්න නෑ..
- ඇඳුමක් මාරු කරගන්නවත් වෙලාවක් නෑ…
මිනුවන්ගොඩින් කොරෝනා ආසාදිත කාන්තාව හමුවුණේ ඉරිදා දිනයකය. එදින රජයේ නිවාඩු දිනයක් වූ නමුත් රෝගයේ භයානක කම හමුවේ නිවස්වල සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සිය රාජකාරිය සඳහා වාර්තා කිරීමට සිදුවිය. ඒ වන විටත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු ආරක්ෂිත ඇදුම් කට්ටලයක් හෝ වෙනත් කිසිදු පහසුකමක් නොතිබුණේය. ඇතැම් සාමාජිකයින්ට ප්‍රවාහන පහසුකම් හෝ නොතිබුණේය. ඒත් ඔවුහු තමන්ට ලබා දෙන පහසුකම් ගැන හෝ නොතකමින් රාජකාරිය දේවකාරියකැයි සිතා කටයුතු ආරම්භ කළහ.
පසුගිය 4වන දින සිට මේ දක්වා ගත වූ දින කීපය පුරාවටම ඔවුන්ට නිසි පරිදි ඉන්නට හිටින්නට තැනක් නැත. කන්නට වෙලාවක් නැත. කෑම ගන්නා වාර ගණනට වඩා නොගන්නා වාර ගණන වැඩිය. ඇඳුමක් මාරුකර ගැනීමට වෙලාවක් නැත. දවස ආරම්භ වීමත් සමග ඔවුන්ගේ දින චරියාව ගෙවෙන්නේ කොරෝනා අසාදිතයින් සොයාය. එක් ආසාදිතයෙක් සොයා ගත් පසුව ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගම් පුරා සැරිසැරීමට ඔවුන්ට සිදුවන්නේය.
මොවුන් මෙතරම් සේවයක් කලද හදිසියෙන් හෝ තමන්ගේ දුවා දරුවන්ගේ හෝ බිරින්දෑවරුන්ගේ සැප දුක සොයා බැලීමට යාමට නොහැකිය. ඒ ඔවුන් නිසා නිවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත විය හැකි බැවිනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහිහේන්ද්ර බාලසූරිය සඳහන් කළේ මෙවන් අදහසකි.
“ මේ වන විට පිට පළාතවලිනුත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ අවදානම් සහිත ප්‍රදේශවලට කැඳවලා තියෙනවා. මේ අනුව ආසාදිතයින් ආගිය තැන් කෑ බී ස්ථානයන්, ආශ්‍රය කරපු අය මේ සියලුම දෙනා ගැනම සොයා බලන්න අපිට සිදුවෙලා තියෙනවා.
අනික රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සොය ගන්නවාට වඩා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සොයා ගැනීමට අපට විශාල මෙහෙයුමක් කරන්න වෙලා තියෙනවා. මේ මෙහෙයුමේදී අපි හැම විටම කටයුතු කරන්නේ හොඳ අවදානයකින්. කොටින්ම කියනවා නම් තාක්ෂණික කරුණු අනුගමනය කරමින් තමයි අපි ආසාදිතයින්ව සොයා ගන්න උත්සහ කරන්නේ.
කොහොම නමුත් අපිට මේ මෙහෙයුමේදී රෑ දහවල් කියලා වෙලාවක් නැහැ. හරියට කෑමක් බීමක්වත් නැහැ. සමහර දවස් වලට අද අඳින ඇදුම මාරුකරන දවස කියන්න බෑ. අපි මේ සෑම උත්සහයක්ම ගන්නේ මේ රෝග වසංගතය මර්දනය කරන්න.
වෙලාවකට අපිට හරි කණගාටුවක් ඇති වෙනවා. අපි මේ තරම් සේවයක් කළත් ඒ සේවාව අගයන්න කිසිවෙකුත් කටයුතු කරන්නේ නැහැ. අපි සේවය කරන්නේ ඇගයීම් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒත් අපිට සාධාරණයක් ඉටු නොවන විට කණගාටුයි. ”
තමන්ගේ ජීවිතය ගැන හෝ නොතකමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතන මෙවැන් රාජ්‍ය සේවකයින්ට සම්මාන පදක්කම් නොලැබුණද ඔවුන්ට ජනතා උපහාරය සැමදා හිමිවනු ඇත.