පසුගිය අඟහරුවාදා (09) කොල්ලුපිටියේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණය මැඩපැවැත්වීමෙන් අනතුරුව නිරෝධායනයට යැවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙක් අගමැතිවරයාගේ උපදෙස් පිට නිරෝධායන කටයුතු අත්හිටුවා යළි සේවයට ගෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
එම උද්ඝෝෂණය මැඩපැවැත්වීමෙන් අනතුරුව එදිනම සවස 6 වනවිට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 30ක් ද, කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 7ක් ද ලෙස 37 දෙනෙක් අත්තිඩිය පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබිණි.
එහෙත් අගමැතිවරයාගේ උපදෙස් පිට 9 වැනිදාම රාත්‍රී 9 පමණ වනවිට නිරෝධායනය අත්හිටුවා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙක් නැවත සේවයට කැඳවා තිබේ. එම නිලධාරීන් මේ වනවිට සුපුරුදු රාජකාරියේ යෙදෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.