දිනසේන රතුගමගේ –
ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර නොගන්නේ නම් උතුරේ ධීවරයින් රැගත් බෝට්ටු දස දහසක් පමණ ඉන්දීය දේශසීමාවට රැගෙන ගොස් විරෝධය පල කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උතුරේ ධීවර සමීති සංගම් නියෝජිතයෝ අමතමින් ඊයේ (27 ) පැවසීය.
උතුරේ ධීවරයින් මුහුණ දෙන ගැටලු හා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යවරයා 25, 26 හා 27 යන දින තුනක කාලයක් මුලතිව් ප්‍රදේශයේ රැඳී සිටි අතර එහිදී උතුරේ ධීවර සමීති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව පැවසීය.
තමන්ගේ අරමුණ මේ වසර අවසන් වන විට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම වළක්වා ගැනීම බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් උතුරේ ධීවරයින් වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද කියා සිටියේය.
මේ ප්‍රශ්නය හමාර කිරීමෙන් පසුව ඉදිරි වසර දෙක ඇතුළත උතුරේ ධීවරයින්ගේ ජීවන තත්ත්වය වඩාත් ඉහළ නැංවීම සදහා තමන් ගත හැකි සෑම ක්‍රියාවක්ම අනුගමනය කරණ බව පැවසූ ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මේ තත්ත්වය ඇතිවන තුරු උතුරේ ධීවරයෝ ඔවුනොවුන් අතර ප්‍රශ්න ඇති නොකර ජීවත් විය යුතු බවද පැවසීය.
උතුරේ ධීවර කටයුතු සම්බන්ධයෙන් හා උතුරේ ධීවරයින්ගේ ප්‍රශ්න හා ගැටලු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මේ දින තුනක කාලය තුළ මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් සමග රැදී සිටිමින් විසදුම් ලබා දී තිබේ.