දිනසේන රතුගමගේ
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් කේ. තුරෙයි රාජසිංහම් ගේ ඉල්ලා අස්වීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් ගැටලුවක් නිසා නොවන බවත් පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පැවසීය.
යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ මහලේකම්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කේ. තුරෙයි රාජසිංහම් ගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට මාවෙයි සේනාධිරාජා වෙත ලැබී ඇති අතර මාවෙයි සේනාධිරාජා කියා සිටියේ මේ තත්ත්වය පුදුමයට හේතුවක් නොවන බවයි.
පසුගිය සතියේ වවුනියාවේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඔහු ඉල්ලා අස්වන බව දැණුම් දුන් බවත් ඊට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කළේ ඉතා දීර්ඝ කාලයක් ඔහු එම තනතුර දැරීමත් දැනට ඔහුගේ අසනීප තත්ත්වය බවත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය.
මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා එම තීරණය වෙනස් කරන ලෙස කේ.තුරෙයි රාජසිංහම් ගෙන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලා අස්වීමට ඉතාම සාධාරණ හේතූන් ඉදිරිපත් කළ නිසා සියලු දෙනාම නිහඬ වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහලේකම් තනතුර සදහා ඉතාම ඉක්මනින් කෙනෙකු පත් කිරීමට අවශ්‍ය බව තීරණය කළේ වවුනියාවේදීම බව කී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එය ඉතා ඉක්මනින්ම සිදු කරණ බවද පැවසීය.