අයිස් ක්‍රීම් කියන්නෙ ලොකු පොඩි හැමෝම කැමති අපූරු අතුරුපසක්. රටේ ලෝකෙ මොනතරම් අයිස්ක්‍රීම් වර්ග තිබුණත් සාපේක්ෂ සෞඛ්‍ය ආරක්ෂිත තත්වයක් තුළ පිරිසිදුව ගෙදරදීම අයිස්ක්‍රීම් එකක් හදාගන්න අපි උත්සාහ කරලා නෑ. පොඩ්ඩ්ක් උත්සාහ කරලා ගෙදරදීම රසවත් අයිස්ක්‍රීම් එකක් හදාගන්න බලමු. ඒ උත්සාහය අපතෙ යන එකක් නෑ.
1. පොල් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් ගෙඩියක කිරි
උකු කිරි ටින් එකක්
වතුර කෝප්ප 4ක්
ජෙලටින් තේ හැඳි 3ක්
වැනිලා තේ හැන්ඳක්
සීනි කෝප්පයක්
පොල් කිරි සහ ටින් කිරි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මද රස්නයෙන් යුතු වතුරෙහි ජෙලටින් හා සීනි එක් කර හොඳින් දිය කර එයත් පොල්කිරි මිශ්‍රණයට දමා කලවම් කරන්න. පසුව පදම් වන තුරු ශීතකරණයේ තබා පැය හතරකින් පමණ ශීතකරණයෙන් ඉවතට ගෙන පළමු මිශ්‍රණය මෙන් තුන් ගුණයක් වන සේ බීටරයකින් ගසා ගන්න. ඊට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා මිදෙන්න හරින්න.
2. වටලප්පන් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල්කිරි කෝප්ප බාගයක්
හකුරු අවුන්ස 6ක්
ජෙලටින් තේ හැන්ඳක්
කජු අවුන්සයක්
මද රස්නෙන් යුතු වතුර අවුන්ස දෙකක්
බිත්තර 2ක්
වැනිලා තේ හැන්ඳක්
පොල් කිරි භාජනයකට දමා ලිප තබන්න. එයටම බිත්තර කහමද හා සූරාගත් හකුරු එක්කර මිශ්‍රණය උකු වනතුරු හොඳින් හැඳිගාන්න. ඉන්පසු ළිපෙන් බා නිවෙන්නට හැර වැනිලා හා දියකරගත් ජෙලටින් එක්කර හොඳින් බීට් කරගන්න. එයටම හොඳින් බීට් කරගත් බිත්තර සුදු මද ක්‍රමයෙන් එකතු කරන්න. මිශ්‍රණය ශීතකරණයේ තබා පැකට පමණ පසු ඉවතට ගෙන නැවත බීට් කරගන්න. නැවත ශීතකරණයේ තබන්න. මේ අයුරින් තුන් වරක් පමණ මිශ්‍රණය හොඳින් බීට් කර ශීතකරණයේ තබන්න.
3. කොමඩු අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කර කෑලි කරගත් කොමඩු කෝප්ප 2
සීනි මේස හැඳි 4
විපින් ක්‍රීම් කෝප්පයක්
කොමඩු කෑලි වලට සීනි දමා මිනිත්තු 2ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් බ්ලෙන්ඩ් වූ පසු එයට විපින් ක්‍රීම් එක් කොට නැවත විනාඩි 2ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. දැන් පියන හොඳින් වසා ගත හැකි බඳුනකට මිශ්‍රණය දමා පැය12ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
4. දූරියන් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- දූරියන් මදුළු 8-10 පමණ
මිල්ක්මේඩ් ටින් එකක්
විපින් ක්‍රීම් කෝප්ප බාගයක්
දූරියන් මදුලේ තිබෙන ඇට ඉවත් කර මදුළු ටික බ්ලෙන්ඩ් කරගන්න. දැන් එම මිශ්‍රණය අධි ශීතකරණයේ තබන්න. භාජනයක් සහ විස්ක් දෙකක් ශීතකරණයේ තබා විනාඩි 30කින් ශීතකරණයෙන් ඉවතට ගෙන ඒ බඳුනට විපින් ක්‍රීම් දමා ඝන වන තෙක් බීට් කරන්න. එයට මිල්ක්මේඩ් ද එක් කරමින් නැවත බීට් කරගන්න. දැන් මෙම මිශ්‍රණය අධි ශීතකරණයේ පැය බාගයක් තබා එම වේලාවෙන් පසු එළියට ගෙන බ්ලෙන්ඩ් කර අධි ශීතකරණයේ තබූ දූරියන් මිශ්‍රණයට එක් කර පත්තකින් හොඳට කලවම් කරගන්න. මෙසේ හොඳින් කලවම් කර ගත් පසු මිශ්‍රණය පැය 12 පමණ අධි ශීතකරණයේ තබන්න.
5. අලිගැටපේර අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැටපේර ගෙඩියක්
මිල්ක්මේඩ් ටින් 1ක්
ලෙමන් ජූස් මේස හැඳි 2ක්
ලුණු ස්වල්පයක්
හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2ක්
අලිගැටපේර මදය සූරා බ්ලෙන්ඩර් එකට දමා එයට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 30ක් විතර ශීතකරණයේ තැබූ බඳුන හා විස්ක් දෙක රැගෙන එයට විපින් ක්‍රීම් දමා බීට් කරගන්න. ඝනකම් වන තෙක් බීට් කර ගත් පසු එයට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර මිශ්‍රණය ටික ටික එක් කර හෙඳින් බීට් කරගන්න. මෙම මිශ්‍රණය අධි ශීතකරණයේ පැය 12ක් පමණ තැබිය යුතුයි.