- මේ අවකෙළි කරඇත්තේ පසුගිය දෙසැම්බරයේ සාග් උළෙල ඉලක්ක කර ජාතික සංචිතයේ පුහුණු වීම්වලදි
- නේවාසික පුහුණුව ලබලා තිබෙන්නෙ බැඩ්මින්ටන් මූලස්ථානයේ දි
- පැමිණිලි කර මාස හතක් ගියත් තවම පරීක්ෂණ නෑ..
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් බැඩ්මින්ටන් මූලස්ථානයේ දී නේවාසිකව පුහුණුව ලබමින් සිටියදී අවිනීත හැසිරීමක නිරතවීමේ සිදුවීමක් ‘ලංකාසර‘ට වාර්තා වෙයි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර මාසයක් පුරා බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේ දී මෙම නේවාසික පුහුණුවිම් පැවැති අතර රාත්‍රී කාලයේදී එක්තරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සාද පවත්වමින් මත්පැන් පානය කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.
එම සාදවලින් පසුව බැඩ්මින්ටන් යුගල ශූරතා අංශයේ දස්කම් දක්වන ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක එකම කාමරයක රැය පහන් කර ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘ලංකාසර‘ ට හෙළිදරවු කළේය.
මේ සඳහා දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසලක් නියෝජනය කරන විශිෂ්ට යොවුන් ක්‍රීඩකයකු ද එක්වී සිටි බව ද වාර්තා වෙයි. මේ තිදෙනාම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇත.
ඉහත කී සිදුවීම බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරින් දැනුවත්ව සිටියද, එම සිදුවීමට මාස 7ක් ගතවූවත් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවත්වූ බවත් ආරංචි මාර්ග පවසයි.
අදාළ ක්‍රීඩිකාවගේ අවිනීත හැසිරීම බැඩ්මින්ටන් ක්ෂේත්රය තුළ ප්රකටව ඇති බවත්, ඇය මත්පැනට ලොල්වූ ක්‍රීඩිකාවක බවත් වාර්තා වෙයි.
මීට අමතරව එම සංචිතය බණ්ඩාරවෙල කේන්ද්‍ර කරමින් ද පුහුණු සැසියක් පවත්වා ඇති අතර එහිදී ද මත්පැන් සාද පවත්වා ඇතැයි ද, ඊට බැඩ්මින්ටන් පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ද එක්වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ජාතික බැඩ්මින්ටන් යුගල ශූරතා දිනා ඇති අදාළ ක්‍රීඩකයා මීට පෙර ද අවිනීතව හැසිරුණු අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා වූවත් බලධාරින් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.
එම ක්‍රීඩකයා මීට පෙර එක්තරා අවස්ථාවකදී දැනට ජීවත්ව සිටින වයස්ගතම බැඩ්මින්ටන් නිලධාරියකුට පහත් අයුරින් බැණ වැදීමක් පිළිබඳවත් ‘ලංකාසර‘ට වාර්තා විය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට සමත්විය.