එළැඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයට යොවුන් ක්රීඩක දුවිඳු තිලකරත්න නම් කර තිබේ.
හිටපු විශිෂ්ට ටෙස්ට් පිතිකරුවකු සහ කඩුලු රකින්නකු වන හෂාන් තිලකරත්නගේ පුත්රයකු වන දුවිඳු බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගතහොත් එය මෙරට ටෙස්ට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් සටහන් කරනුයේ ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ නිරතවූ පළමු පිය පුතු යුවළ ලෙසිනි.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත්රිත්ව විදුහල නියෝජනය කරමින් පාසල් ක්රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් පෑ මෙම දකුණත් පිතිකරුවා වමතින් දඟ පන්දු යවන අතර, බී.ආර්.සී. ක්රීඩා සමාජයේ ප්රබල සාමාජිකයකු ද වේ.
24 හැවිරිදි දුවිඳ පසුගිය මාසයේ එන්.සී.සී. පිල සමග පැවැති තරගයේදී ලකුණු 118කට කඩුලු 13ක් දවාලමින් විශිෂ්ට දස්කම් පෑවේය. ඔහුගේ නිවුන් සොයුරා වන රවිඳු තිලකරත්න ද අන්තර් සමාජ ක්රිකට් පිටියේ ප්රබල ක්රීඩකයෙකි.
මේ මස 27 වැනිදා ශ්රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම සමග පැවත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව ඔක්තෝබර් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ නම් කළ ක්රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය.
දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්රනාන්දු, ළහිරු උදාර, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, දුවිඳු තිලකරත්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත, අසිත ප්රනාන්දු.