ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පමණට වඩා ඇති ලංකාව වැනි රටක විශාල මුදලක් වැය කරමින් නව ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ තිබෙන ක්‍රීඩාංගන දියුණු කිරීම නොවේ දැයි 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කරයි. ඔහු එසේ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කොට ඉදිකිරීමට යෝජිත හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
එතරම් මුදලක් වැය කරමින් නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන සෑදීම වෙනුවට කළ යුත්තේ මේ වන විට අත්හැර දමා ඇති ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගන දියුණු කර ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එම මුදල් යෙදවීම බව ඒ මහතා පෙන්වා දෙයි.
” දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා ක්‍රිකට් ක්‍රීඩාංගන අපේ රටේ තිබෙන බව ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති. විශේෂයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව, පාසල් ක්‍රීඩාංගන මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ලබා දීමට අවධානය යොමු විය යුතුයි. ක්‍රිකට් පුහුණුවට අවම පහසුකම් හෝ නැති පාසල් කොළඹ තිබෙනවා. පිටත් පළාත්වල මේ තත්ත්වය තවත් බරපතලයි. දේශපාලනඥයින් සතුටු කරන්න අලුතෙන් ක්‍රීඩාංගන හදනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ දරුවන් හඳුනා ගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරන්න උදව් කරන්න.”යැයි ද අර්ජුන රණතුංග පැවැසීය.
වසරකට එකදු තරගයක් හෝ නොපැවැත්වෙන මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන බොහොමයක් ඇතැයි පවසන ඒ මහතා පසුගිය වසර තුනටම දඹුල්ල ක්‍රීඩාංගනයේ කිසිදු ජාත්‍යන්තර තරගයක් නොපැවැත්වුණු බවද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පසුගිය වසර තුනටම පැවැතියේ එක් තරගයක් බවද හෙළි කළේය. එවන් වාතාවරණයකදී තවත් නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන සෑදීමේ ප්‍රයෝජනය කුමක්දැයි රණතුංග මහතා අදාළ බලධාරින්ගෙන් විමසා සිටියේය.
කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනා පීඩාවට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගනයක් සෑදීමට මෙතරම් විශාල මුදලක් වැය කිරීම අනුවණ ක්‍රියාවක් සේ සලකන රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙය නැවැත්වීමට අවධානය යොමු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.