අභියෝග හමුවේ නොවැටුණු  බොක්සිං රජිණ

අනූෂා කොඩිතුවක්කු

‘මගේ අත්දැකීම් ආදර්ශයට ගන්නවා නම් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුවනි මේ ලෝකඩ පදක්කම මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං රන් හෝ රිදී පදක්කමක් බවට පත් කරගන්න.‘

මීට වසර තුනකට පෙර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලේදී ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ඓතිහාසික වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු සිය සගයන්ට දෙන උත්ප්‍රේරකය එයයි. ඊට මාස කිහිපයයකට පසුව බොක්සිං වළල්ලට සමුදුන් මේ විශිෂ්ට ක්‍රීඩිකාවගේ කතාවයි මේ.

අනූෂා දිල්රුක්ෂි කොඩිතුවක්කු මෙරට බොක්සිං ක්‍රීඩා ඉතිහාසයට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව ලෙසයි. තවත් අතකින් කියනවා නම් 1950 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඇලෙක්ස් අබේසේකර බොක්සිං ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් අවුරුදු 68කට පසුව ශ්‍රී ලංකාවට නැවත පදක්කමක් ගෙන දීමට ඇය සමත්වුණා.

බොක්සිං කියන්නේ ඔබ අප කවුරුත් දන්නා පරිදි ඉතා දුෂ්කර හා වෙහෙසකර ක්‍රීඩාවක්. ප්‍රතිවාදියාගේ මුෂ්ඨි ප්‍රහාරයෙන් ඇස,නාසය හෝ කම්මුල තලා ගැනීමට එක නිමේෂයක් ඇති. එවැනි ක්‍රීඩාවක ඇති අවදානම කවුරුත් දන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය පළාතේ උපන් මේ දිරිය දියණියගේ කතාව අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ට කදිම ආදර්ශයක්.

ජීවිතය ජයගන්න කොයිතරම් කැපවීම්, පරිත්‍යාග කළ යුතුදැයි ඇය හරි අපූරුවට අපිට කියාදෙනවා. අනූෂා කොඩිතුවක්කු ගැන අපි කවුරුත් දන්නේ බොක්සිං ක්‍රීඩිකාවක් හැටියට වුණත් ඇගේ ක්‍රීඩා දිවියේ මුල් භාගය ඉන් ඔබ්බට විහිදී ගිය එකක්. ඇය පාසල් වියේ සිටම සිය ක්‍රීඩා හැකියාවන් විවිධ පරාසයන් ඔස්සේ විදහා පෑ බව දන්නේ අතලොස්සක් පමණයි.

පාසල් වියේ සිටම පාපැදි තරග, කඹ ඇදීමේ තරග වැනි ග්‍රාමීය තරුණියන් වැඩිපුරම යොමුවන ක්‍රීඩාවන් නියෝජනය කළ ඇයට මුල සිටම වුවමනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමටයි. එහෙත් ඒ කාලයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වැඩිපුරම බිහිවුණෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිසා ඇයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට තිබුණේ අඩු ඉඩකඩක්.

අනූෂාගේ ක්‍රීඩා දිවිය මුළුමනින්ම වෙනස් වුණේ ඇය 2001දී පන්නල ස්ලිම්ලයින් ආයතනයේ ක්‍රීඩා සමාජයට එක්වීමත් සමගයි. එදා ඇය එම ක්‍රීඩා සමාජයට එක්වුණේ රග්බි ක්‍රීඩිකාවක් ලෙසයි. වෙළෙඳ සේවා කාන්තා රග්බි තරගාවලිය නියෝජනය කළ ස්ලිම්ලයින් කාන්තා රග්බි කණ්ඩායමට එක්වුණත් අනූෂා ඒ වෙද්දීත් රග්බි පන්දුවක්වත් දැක තිබුණේ නෑ.

‘මම රග්බි ක්‍රීඩාවට එක්වෙද්දී රග්බි පන්දුවක් දැකලා තිබුණේ නෑ. රග්බි පන්දුවේ හැඩයවත් දැනගෙන හිටියේ නෑ. ඒත් මං රග්බි ක්‍රීඩාවෙන් දස්කම් පෑවා.‘ ඇය අතීතය සිහිපත් කරන්නේ එලෙසයි.කොහොමත් අනූෂාට මුල සිටම තිබුණේ ජයග්‍රහණ පිපාසයක්. ඇයට ඕන කළේ සහභාගි වන සෑම තරගයකින්ම පළමුවැන්නා වීමටයි.

උසස් පෙළ සමත්වී සංගීත අංශයෙන් සරසවි වරම් දිනාගන්නා අනූෂා බොක්සිං වළල්ල ජයගත් අයුරු එක අතකට විමතිය දනවන කාරණාවක්.

‘මාව බොක්සිං ක්‍රීඩාවට එකතු කරගත්තේ ඩයන් සර්. (ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ වත්මන් සභාපති ඩයන් ගෝමස්)  සරසවි වරම් ලැබූ කාලයේ මම ස්ලිම්ලයින් ආයතනයේ රග්බි ක්‍රීඩාවෙනුත්, බොක්සිං ක්‍රීඩාවෙනුත් දස්කම් පෙන්නුම් කරමිනුයි හිටියේ. අන්තිමේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ස්ලිම්ලයින් ආයතනයේ දිගටම රැඳී සිටිමින් මම බොක්සිං ක්‍රීඩාව තෝරාගත්තා.‘

සිය අනාගතය පිළිබඳ අතිශයින්ම නිවැරැදි තීරණයක් ගැනීමට ඇයට තිබුණු තීක්ෂණ බුද්ධිය බොක්සිං ක්‍රීඩාවට හරියටම ගැලපුණා. ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ දුර්වල අංග චලනයක් එක නිමේෂයකින් අවබෝධ කරගෙන ඇයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තරම් හැකියාවක් ඇයට ලැබුණේ ඒ අනුවයි.

‘පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කම දිනාගනිද්දී මගේ බොක්සිං ක්‍රීඩා දිවියට අවුරුදු 17යි. මේ අවුරුදු 17ක් තුළ මම අපමණ කැපවීම් කළා. දහඩිය වගේම රුධිරයත් වැගිරුවා. එකම බර මට්ටම දිගටම තියාගන්න පුදුමාකාර වෙහෙසක් ගත්තා. වතුර බිංදුවක්වත් නොබී කොයිතරම් නම් රැය පහන් කරන්න ඇතිද…? පොදු රාජ්‍ය මණ්ඩලයිය බොක්සිං පදක්කම ඒ හැම දෙයකම ප්‍රතිඵලයක්.‘ ඇය එසේ කියනවා.

බොක්සිං ක්‍රීඩාවේ කිලෝග්‍රෑම් 48 බර පන්තියට ඇතුළත් ලයිට් ෆ්ලයිවේට් බර පන්තිය නියෝජනය කරන අනූෂා පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කම දිනාගනිද්දී ඇගේ වයස අවුරුදු 39ක්. එවැනි වයස් මට්ටමකදී ජවසම්පන්නභාවය රඳවා තබා ගැනීමත් විස්මයජනකයි. එය ඇගේ උත්සාහවන්ත කමත්, නොසැලෙන අධිෂ්ඨානයත් ගැන අපිට වෙනම පාඩමක් කියා දෙනවා.

අනූෂාට ජාත්‍යන්තර බොක්සිං වළල්ල නුපුරුදු තැනක් නෙවෙයි. ඇය දශකයකටත් වැඩි කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙමිනුයි සිටියේ. වසර 2012, 2014, 2016 ලෝක බොක්සිං ශුරතාවලියේ කාන්තා තරග අංශය නියෝජනය කළ අනූෂා ආසියානු බොක්සිං වළල්ලේ ලැබූ ජයග්‍රහණ අපමණයි. මේ සියල්ල ඇයට හිමිවූයේ ජාතික බොක්සිං ශූරිය ලෙස වසර ගණනාවක් ලැබු ජයග්‍රහණ රැල්ලකින් ලද පන්නරය නිසාමයි.

‘මට හැමදාම ඕන කළේ දිනන්න. ශ්‍රී ලංකාව තුල දිනලා මට මදිවුණා. ජාත්‍යන්තරය දිනන්න ඕන කළා. මොකද ලංකවේ තරග දිනනවා කියන්නේ මට ලොකු දෙයකුත් නෙවෙයි.‘ 2009 වියට්නාමයේ පැවැති ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමකුත්, 2016 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමකුත් දිනා ගත් අනූෂාගේ ජයග්‍රහණ පිපාසය ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුම එලෙසම තිබුණා.

අනූෂා කියන්නේ සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග දැඩි බැඳීමක් ඇති ක්‍රීඩිකාවක්. ඇයට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ඇත්තේ දැඩි ලෙන්ගතුකමක්. තමා බොක්සිං ක්‍රීඩාවට පිවිසි මුල් කාලයේ අනුබලය දුන්නෙත්, දිරිය දුන්නෙත් ජාතික තලයේ ක්‍රීඩිකා නිල්මිණී ජයසිංහ බව ඇය අදත් කියන්නේ කෘතවේදිත්වයෙන්.

වසර ගණනාවක් මෙරට කාන්තා බොක්සිං වළල්ලේ අපරාජිත රැජන ලෙස වැජඹුණු අනූෂා එදා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනාගැනීමෙන් පසුව පන්නල ස්ලිම්ලයින් ආයතනයේ දී ඇය වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වුණා. ඒ උපහාර උළෙලට පෙර එම ආයතනය ඉදිරිපස ඉදිකළ ඇගේ ඡායාරූපය සහිත දැවැන්ත පුවරුව විවෘත වූයෙත් ඇගේ සුරතින්.

‘අභිමානය නිර්මාණය කළ දේශයේ රන් දෑත’  ඒ පුවරුවේ එසේ සටහන්වී තිබුණා.

-සදෙව් රත්නායක