ෂර්ලි සමරසිංහ –
වර්තමානයේ තරුණ සිනමාකරුවන් ක්ෂේත්රයට ප්‍රවේශ වන්නට කිසියම් හුදකලා අරගලයක යෙදෙනවා, මාලක දේවප්‍රිය සිය කුළුදුල් සිනමා කෘතිය වන “බහුචිතවාදියා” අධ්‍යක්ෂණය කරමින් සිය ප්‍රේක්ෂකයා වෙත රැගෙන යාමේ නොතිත් පරිශ්රමයක යෙදෙන තරුණ නිර්මාණ කරුවෙක්. සිනමාව ගැන ඔහු හා කළ කතාබහ තුළ අන්තර්ගත වන්නේ තරුණයි පෙළන සමාජ ගැටලුවෙ එක්තරා හරස්කඩක්.
- “බහුචිතවාදියා” චිත්‍රපටය නිර්මාණය වන්නේ මීට වසර කිහිපයකට පෙර. මේ සිනමා කෘතිය මුදා හැරීමට ප්‍රමාදවීම කිසියම් ආකාරයකට කෘතියට බලපෑමක් එල්ල කරයිද ?
මේ චිත්‍රපටිය සංකල්පය ආවේ සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූ ගිය දශකයේ මුල් කාර්තුව තුළ. මෙහි ප්‍රබන්ධ වන්නේ බහු චිත හෙවත් එක් අදහසක් නැති නැතිනම් බොහෝ අදහස් ඇති සමකාලීන ලාංකීය තාරුණ්‍යය හා සමාජ ජීවිතයේ එක්තරා ස්වරූපයක පිළිඹිඹුවක්.
විධිමත් අධ්‍යාපනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැතිකමින් මුදල් සෙවීමේ පහසු මාර්ග සොයා විදේශ ගතවීමේ උන්මාදයෙන් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය හා ඊට ඈඳුණු ලබන සෙසු චරිත හරහා කතාව ගොඩ නැගෙනවා. අපේ සමාජය බිහිසුණු දෙදරීමකට ලක්ව ඇති ආකාරය තේමාකරගෙන කෘතිය ගොඩ නැගෙනවා.
එතකොට ඔබ අහනවා නම් මේ කෘතිය දැන් පරණ වැඩියි, එය කෘතියට බලපෑමක් එල්ල කරනවා නේද කියලා මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. කලා කෘතියක් කියන්නේ වයින් බෝතලයක් වගේ. ඒක කවදාවත් පිළුණු වෙන්නෑ කිරි හොද්දක් වගේ. හොඳ වයින් එකක් ඕන වෙලාවක ඕන කාලයක බොන්න පුළුවන්. කලා කෘතියක් සර්වකාලීනයි.
- මේ චිත්‍රපටයේ ප්‍රමාද වීමට බලපෑ ප්‍රධාන කාරණා පැහැදිලි කරන්න කැමතිද ?
චිත්‍රපටය ප්‍රදර්ශනය නොවූ නිසා ඒ පිළිබඳව වැඩි දුර විස්තර මේ අවස්ථාවේ කීම සුදුසු වෙන්නැහැ. චිත්‍ර ශිල්පියෙක් තමාගේ නිර්මාණය කළාට පස්සෙ චිත්‍රය අඳින්න වර්ණ සොයාගත් දුෂ්කරතාව වෙනම යටින් ලියන්න උත්සාහ කරන්නේ නැති වුනත් අවසාන වශයෙන් මා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ස්වරූපය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
මේ චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කරන්නේ ලංකාවේ ප්‍රධාන චිත්‍රපට සමාගමක් සමග. නමුත් ඔවුන්ට චිත්‍රපටය අවසන් කිරීමට කිසිදු උනන්දුවක් නොවූ නිසා මෙම චිත්‍රපටය නිෂ්පාදන සමාගමෙන් මිලට අරගෙන එහි පසු නිෂ්පාදන කටයුතු හමාර කරමින් ප්‍රදර්ශන මට්ටමට රැගෙන ආවා. මේ සල්ලි හොයාගත්තේ හතළිස් දෙදෙනෙකුගේ දායකත්වයෙන්. මම චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙස රූපාන්තරණය වුණත් ඇත්ත වශයෙන්ම මට කිසිම ප්‍රාග්ධනයක් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීම පමා වීමේ ප්‍රධානම සාධකයක් ලෙසට එය බලපානවා. මොකද ප්‍රචාරණය සඳහා ප්‍රචාරණ පිරිවැයක් අවශ්‍යයි. උදේ හවා කැකෑරෙමින් ඒ සඳහා මුදල් සොයා ගැනීම මෙන්ම කළ යුත්තේ කුමක්ද කියා විවිධ ව්‍යාපෘති සිතමින් ඉන්නවා එය මුදාහරින අවකාශය වෙනුවෙන්. පසුගිය කාලය තුළ ඒ සඳහා විවිධ විකල්පයන් හමුවුනත් කොරෝනා අර්බුදය එය නැවත තවත් සංකීර්ණ කරලා තියෙනවා. නමුත් මගේ මිත්‍රයන් මෙන්ම ස්වාධීන සිනමා එකමුතුව නිරන්තර වැඩපිළිවෙලක සූදානමකින් පසුවනවා. ඉතාම කඩිනමින් “බහුචිතවාදියා” මහජනතාවට ප්‍රදර්ශනය කිරීම අප පරමාර්ථය වෙනවා.
- ලාංකීය සිනමාව පිළිබඳව විවිධ මතවාදයන් සමාජ මාධ්‍ය හරහා මේ වසංගත වකවානුවේ අපි දකිනවා. බොහෝ දෙනා ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව ඔබටත් ඇති අදහසක් ?
වර්තමාන ඩිජිටල් සංස්කෘතියේ ආගමනය සමග අන්තර්ජාලය හරහා බාගත කරමින් ඒ වගේම සජීවීව සිනමාව නැරඹිය හැකි ප්‍රදර්ශන අවකාශ රැසක් ඇති වී ඇති බව සත්‍යයක්.
කොරෝනා සහ පශ්චාත් කොරෝනා සමය තුළ මෙම නැඹුරුව තවත් වැඩිවූ බව අන්තර්ජාල දත්ත තහවුරු කරවනවා. නෙට් ෆ්ලික්ස් වැනි චැනලයන් වෙත වඩාත් නැඹුරු වී එහි ග්රාහකයන් ප්‍රමාණය ප්‍රසාරණය වී තිබීම ඊට කදිම උදාහරණයක්. මේ කෙසේ වුවත් සිනමා ශාලාවක් තුළ හුදකලාව විශාල තිරයක අඳුරේ චිත්‍රපටයක් නැරඹීමේ ඉන්ද්‍රජාලිකත්වය හා ආශ්වාදය ඒ තුළින් අහෝසි වෙන්නේ නෑ.
අපි වැනි රටක ඔන්ලයින් ක්‍රම භාවිතයෙන් සිනමාව කෙසේ වෙතත් අධ්‍යාපනය ලබාදීම සන්නිවේදනය පවා පවත්වා ගැනීම සරල කාරණයක් නොවන බව පසුගිය කාලය තුළ අනාවරණය කර ගත්තා. තාක්ෂණික මෙවලම් හරහා සම්බන්ධතාවයන් සපයා ගැනීමට පවත්වා ගැනීමට කීයෙන් කීදෙනාටද හැකියාවක් තියෙන්නෙ. ඒ වගේම ජංගම දුරකථනයකට පෙර ගෙවුම් කාඩ් පතක් දාලා චිත්‍රපටයක් බලන්න ඩේටා වියදම් කරන්න තරම් වත්කමක් තියෙන්නේ ඉහළ මධ්‍යම පංතිකයන්ට පමණයි.
ලර්න් ඒෂියා ආයතනය 2018 දී කළ සමීක්ෂණයට අනුව, ලංකාවේ මිලියන 5.5 ක කුටුම්භ සංඛ්‍යාවෙන් එක් ස්මාර්ට් දුරකථනයක් හෝ ඇත්තේ 46% කට පමණයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ලංකාවේ පරිගණක සාක්ෂරතාව 23% යි. එහෙම ප්‍රාග්ධනයක් , හැකියාවක් හා මෙවලම් තිබුණත් සිනමා ශාලා යාන්ත්‍රණය පවත්වාගැනීම සඳහා ශක්තිය ලබා දිය යුතුයි. සිනමාව කර්මාන්තයක් වගේම එය රටක අධ්‍යාපන හා සංස්කෘතික අංශයේම කොටසක් වෙනවා .අපට සිනමාශාලාව වසා දමා ඔන්ලයින් ක්‍රමයට පමණක් සිනමා සංස්කෘතියක් පවත්වාගෙන යෑම නොහැකියි.
- සිනමා නිර්මාණකරුවා ප්‍රේක්ෂකයාව අමතක කර නිර්මාණ බිහි කිරීම තුළ කිසියම් ආකාරයක අර්බුදයක් නිර්මාණය වූවා යැයි ඇතමෙක් චෝදනා නගනවා?
පසුගිය කාලයේ ඇතිවූ එක්තරා තර්කයක් තමයි පෙන්නන්න පුළුවන් නම් සිනමාවේ කිසිදු අර්බුදයක් නෑ කියන එක. පෙන්නන්න පුළුවන්කම ගැන අර්ථ කථනය කවුද දෙන්නෙ?. ප්‍රේක්ෂකයෝ අහවල් කෘති පමණක් අපට පෙන්වන්න කියලා කියන්නේ නැහැ. ඕනෑම කෘතියක් හොඳ ප්‍රචාරණයක් හරහා සමාජගත කරන්න පුළුවන්. සිනමාව කලාවක් විදිහට රැඳී පවතින්නේ විවිධ ආඛ්‍යාන වලින් විවිධ ආකෘති වලින් විවිධ ප්‍රවේශ වලින් කරන අලුත් අත්හදා බැලීම් තුළයි. කලාත්මක මෙන්ම වාණිජ මට්ටමේ විවිධ ප්රකාශනයන් ජනතාව වෙත රැගෙන යන්න ඉඩ කඩක් තමයි අපි විවර කළ යුතු වෙන්නේ.
- ජාත්‍යන්තර වශයෙන් සිනමාව සඳහා ඇති විකල්ප ප්‍රදර්ශන අවකාශ මොනවාද ?
උදාහරණයක් විදිහට ජර්මනියෙදි තරුණ නිර්මාණකරුවන්ට සහ අලුත් නිර්මාණ කරුවන්ට කෙටි චිත්‍රපටය සඳහා මූල්‍ය ආධාර ලබා දෙනවා ජී කූස් ෆිල්ම් ආයතනය හරහා. ඒ වගේම කෙටි චිත්‍රපට උළෙල රාශියක් මෙන්ම චිත්‍රපටි උළෙලවල් රැසක් පවත්වමින් ඔවුන් අනුග්‍රහ දක්වනවා සිනමාකරුවන්ට. චිත්‍රපට බස් රථයේ, දුම්රිය තුළ, ගුවන් යානයේ, සුපිරි වෙළඳ සංකීර්ණ වල, පොදු ස්ථානයන් හි ප්‍රදර්ශනය කරමින් මිනිස්සුන්ට නැරඹීමට අවකාශ සලසන දෙනවා. ඒ වගේම මොබයිල් ෆෝර්ම් සිනමාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපේ සිනමාවට කිසියම් ආකාරයකින් විකල්ප අවකාශයන් නිර්මාණය කර දීමත් දැවැන්ත කාර්ය භාරයක්.